MediaLK අපිට අවුරුදු 06ක් - මේ අපේ කතාව

MediaLK අපිට අවුරුදු 06ක් - මේ අපේ කතාව

Apr 02, 2025

MediaLK අපිට අවුරුදු 06ක් - මේ අපේ කතාව

අප්‍රේල් මාසෙ අපිට ගොඩක් වැදගත්. මේ අප්‍රේල් මාසෙට MediaLK පටං අරං අවුරුදු 06ක්. කිසිම ප්‍රාග්ධනයක් නැතුව මාධ්‍යයක් පටං අරං ඇදං යනවා කියන එක ලේසි නෑ. මේ අවුරුදු 06ට අපි ප්‍රශ්න රැසකට මුහුණ දුන්නා.

ටිකක් වෙනස් විදිහේ ප්‍රවෘත්ති, ලිපි යන වෙබ් එකක් පටං ගන්න අදහසක් මට ආවේ 2018 ඔක්තෝබර දින 52 ආණ්ඩු කාලයේදියි. ඒ කාලයේ මම ලංකාදීපයේ හිටියේ. වෙබ් එකක් හදන්න යන ගණන් කීප දෙනකුගෙන්ම අහද්දි ඒ ගාන දරාගන්න අමාරු නිසා අදහස අතෑරියා.

2019 මුල වගේ අහම්බෙන් මං අධ්‍යාපනය ලබපු පාසලේ මට වඩා අවුරුද්දක් පහලින් හිටපු මිත්‍රයෙක් (උදිත) එක්ක පොඩි චැට් එකක් දාද්දි දැනගන්න ලැබුණා ඔහු වෙබ් ඩිසයිනිං කරනවා කියලා. මං මගේ අදහස කිව්වට පස්සේ මුදල් ගන්නේ නැතුව වෙබ් එකක් හදලා දෙන්නම් කියලා ඔහු කිව්වා. ඒ වෙනකොට මං හිටියේ ලංකාදීපයේ. මම මගේ අදහස ලංකාදීපයේම වැඩ කරමින් හිටපු නිලූක සඳුන්ට කිව්වම ඔහුත් වැඩේට කැමති වුණා. මම, උදිත සහ නිලූක අවස්ථා කිහිපයකදී ගම්පහ නගරයේ කඩ කීපයකදී තේ එකක් බොන ගමන් සාකච්ඡා කළා. අපි මුලින්ම හම්බුණේ 2019 මාර්තු 24. අපි එදා මේ වැඩේ ගැන කතා කළා. මාර්තු 25 අපි තීරණය කළා වෙබ් එක Media. lk කියලා පටං ගමු කියලා. නමුත් උදිත දැනුම් දුන්නා ඒ ඩොමේන් එක මේ වෙනකොටත් වෙනත් කෙනෙක් අරගෙන ඉවරයි කියලා. 2019 මාර්තු 26 අපි තීන්දු කළා අපේ වෙබ් එක අපි Medialk.com කියලා පටං ගමු කියලා.

මේ හැම රැස්වීමකම මිනිට්ස් ගත්තේ නිලූක. තක්ෂණික කාරනා උදිත ලියාගත්තා. පොදුවේ සියලුම දේවල් ගැන මම කතා කළා. අපි කඩවලට ගිහින් තේ බීබී කතා කරද්දි වියදම් වෙච්ච හැම සතයක් නෑරම නිලූක සටහන් කර ගත්තා, මොකද කවදා හරි කීයක් හරි හම්බුණොත් ඒකෙන් වියදම් කරපු ටික අරගම්මු කියලා තීන්දු කරපු නිසා. පළවෙනි මීටිමේ වියදම රුපියල් 300යි. දෙවැනි මීටිමේ වියදමත් රුපියල් 300යි. තුන්වෙනි මීටිමේ වියදමත් රුපියල් 300යි.

2019 මාර්තු 26 වෙනිදා අපි MediaLK.com ඩොමේන් එක ගත්තා. එදාම ෆේස්බුක් පේජ් එක හැදුවා. මාර්තු 28 අපේ පරණ ලෝගෝ එක හැදුවා. මාර්තු 31 වැනිදා MediaLK යූටියුබ් චැනල් එක හැදුවා. 2019 අප්‍රේල් 04 වෙනිදා MediaLK වෙබ් එක හැදුවා.

අප්‍රේල් මුල ඉඳන් මුලින්ම ෆේස්බුක් පිටුවේ විතරක් පොඩි පොඩි දේවල් ෂෙයාර් කළා.

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයත් එක්ක ජනමාධ්‍යවල පළවූ ප්‍රවෘත්ති දිහා බැලුවම අපි හිතුවා MediaLK.com වෙබ් එක පබ්ලික් කරලා මාධ්‍යවල ජාතිවාදී, ආගම්වාදී අසත්‍ය ප්‍රවෘත්තිවලට විරුද්ධව අපි ලියන්න ඔ්න කියලා. ඒ අනුව අපි අප්‍රේල් මාසෙ අන්තිම MediaLK වෙබ් එක යාවත්කාලීන කරන්න පටං ගත්තා.

2019 මැයි මාසයේදී වෛද්‍ය සාෆි ශිහබ්දීන් අත්අඩංගුවට ගැනීම සහ ඒ ආශ්‍රිත සිදුවීම්වලදි ජනමාධ්‍යයේ හැසිරීමත් එක්ක සහ අපි ලියපු ලිපිය ලංකාදීපයේ පල නොකිරීමත් එක්ක ලංකාදීපෙයන් අයින් වෙන්න මම තීරණය කලා. මේ කාලය ඇතුළත සාෆි ගැන වගේම තවත් බොහේ දේවල් අපි MediaLK වෙබ් එකෙන් වාර්තා කළා. බොහෝ අය දැනං හිටියේ නෑ MediaLK කරන්නේ මම සම්බන්ධ වෙලා කියලා. වෙබ් එක පටං අරං මාසයක් යද්දි විශාල පිරිසක් වෙබ් එක බැලුවා. මොකද අපි වැඩිපුර වාර්තා කළේ අනිත් මාධ්‍ය වාර්තා නොකරන දේවල් සහ අනිත් ඒවා වාර්තා කරන සාවධ්‍ය දේවල්වල ඇත්ත කතාව.

සමහර දෙමළ දේවල් පරිවර්තනය කරද්දි මොහොමඩ් ෆස්ලාන් මුල් කාලයේ සමහරදේවල්වට සහාය දුන්නා. මුලින්ම යූටියුබ් චැනල් එකට වීඩියෝවක් අප්ලෝඩ් කළේ 2019 ජුනි 12දි.

අවසානයේ මම ලංකාදීපයෙන් අයින් වුණාට පස්සේ මගේ නමින්ම පෙනී සටිමින් ලියන්න පටං ගත්තා. මම සහ නිලූක ලියන දේවල් කලා. උදිත අවශ්‍ය අවස්ථාවල තාක්ෂණික සහාය දුන්නා. මේ අතරතුර අපි MediaLK ආයතනයක් විදිහට ලියාපදිංචි කලා. 2019 ජනාධිපතිවරණය ලංවෙද්දි අපේ වෙබ් අඩවිය සමහර දවස්වලට 50,000කට වැඩි පිරිසක් නරඹනවා. ලක්ෂයකට වඩා බලපු දිනත් තිබුණා. 2019 අවසන් වෙද්දි අපි දාන ප්‍රවෘත්ති සහ විශේෂාංග සමහර ජනමාධ්‍ය තමන්ගේ මූලාශ්‍රය කරගත්තා. 2019දි අපි අයි.එම්.එස් ශ්‍රී ලංකා එක්ක එකතු වෙලා 2015-2019 කාලයේ ලංකාවේ ජනමාධ්‍ය කර්මාන්තයේ සිදුවෙච්ච දේවල් ගැන පර්යේෂණයක් කරලා වාර්තාවක් එළියට දැම්මා. ඒකෙන් අපිට හොයාගන්න පුලුවන් වුණා මේ කාලසීමාවේදී ජනමාධ්‍යවේදීන් 500කට විතර රස්සා නැතිවුණා කියලා. ඒක පාර්ලිමේන්තුවේ කතාවලදි සමහර මන්ත්‍රීවරුන් සභාගත කළා. සමහර මන්ත්‍රීවරුන් තමන්ගේ කතාවලට MediaLK මූලාශ්‍රය කරගෙන තිබ්බා.

2019 දි MediaLK ලියාපදිංචි කරන්න ජනමාධ්‍ය අමාත්‍යංශයට යොමු කළත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විදිහට පත් වුණාට පස්සේ ආරක්ෂක අමාත්‍යංශය රහස්‍ය වාර්තාවක් ජනමාධ්‍ය අමාත්‍යංශයට එව්වා MediaLK ජාතික ආරක්ෂාවට තර්ජනයක් නිසා ලියාපදිංචි කරන්න එපා කියලා. වෙබ් ලියාපදිංචිය අනිවාර්ය නොවුණත් ඒ වෙලාවේ අපි ලියාපදිංචි කරන එක හොඳයි කියලා හිතලයි ඒ සඳහා යොමු කළේ. අවසානයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා MediaLK වෙබ් එක ලියාපදිංචි නොකිරීම ගැන අපි මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළා. ඒ අනුව මානව හිමිකම් කොමිසම තීන්දු කළා එම තීරණය මගින් අපේ මූලික අයිතිවාසිකම් කඩ කරලා කියලා.

2020 ජුනි 01 අපි MediaLK එකේ කාර්යාලය පටං ගත්තා යක්කලදි. MediaLK කාර්යාලය විවෘත කරපු දවසේ ඒ කාර්යාලයේ ඉඳන් තමයි තරිඳු උඩුවරගෙදර, නිරෝෂ් මෛත්‍රී සහ මම ඇතුළු තවත් කීප දෙනෙක් channel 19 පටං ගැනීම ගැන සාකච්ඡා කළේ. පසුව නිරෝෂ් මෛත්‍රී news19 සහ චැනල් 19 පටං අරං හොඳට කරගෙන ගියා. අපි ඉඳා හිටලා ආපේ කාර්යාලයේදී හෝ නිරෝෂ් මෛත්‍රීගේ නිවසේදි හමුවුණා.

2020 ජුනි, ජූලි, අගෝස්තු වෙද්දි ශාලික විමලසේන, ආදිල් අලි සබ්රි, අඛිත විජේසිංහ ඇතුළු පිරිසක් MediaLK එකට සම්බන්ධ වුණා. 2020 වසර අවසන් වෙනකොට අපේ කාර්ය මණ්ඩලය 8ක් පමණ හිටියා.

චාමර සම්පත්, ඉඳුනිල් උස්ගොඩ ආරච්චි, ආන්‍යා විපුලසේන වගේ කණ්ඩායමක් අපිට එළියේ ඉඳන් සෑහෙන්න උදව් කළා. මොහොමඩ් ෆසීර් මාස කිහිපයක් උදව් කලා. මුෂරිෆ් වීඩියෝ ඉන්ටර්විව් කිහිපයක් කරලා දුන්නා. වරින් වර විවිධ පිරිස් ඇවිත් ගියා. 2020 අන්තිම වෙද්දි අපිට තාක්ෂණික සහාය ලබා දුන් උදිත අයින් වුණා. අපේ වෙබ් එක රවිඳු ප්‍රනාන්දුට කියලා අලුතෙන් ඩිසයින් කරගත්තා. දැනට තියෙන්නේ ඒ ඩිසයින් එක.

මේ කාලය ඇතුළත ගවේශනාත්මක පුවත් සහ විශේෂාංග ගණනාවක් අපි පළ කලා. සමහර හෙළිදරව් කිරීම් කළා. යූටියුබ් එකට වඩා වෙබ් එකට මුල්තැන දුන්නා. වරින් වර ඉන්ටර්න්ස්ලා රැසක් ඇවිත් ගියා. අපි වාර්තාකරණයට අමතරව සමහර සම්මන්ත්‍රණ, ඔන්ලයින් සාකච්ඡා සහ වෙනත් දේවල් කලා. ගෑස් පුපුරණ ප්‍රශ්නය ආපු වෙලාවේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළේ MediaLK සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය. මේවගේ බොහෝ දේවල් කලා.

2021 නොවැම්බර් වෙද්දි MediaLK එකේ ඉන්ටර්න්සල් එක්කම 10ක් විතර හිටියා. ආර්ථික ප්‍රශ්න නිසා කාර්යාලය පවත්වාගෙන යන්න අපහසු තත්ත්වයක් එද්දි බොහෝ දෙනෙක් අයින් වුණා. 2019 පටං ගත්තු දා ඉඳන් 2021 ඔක්තෝබර වෙනකං හිටපු නිලූකත් පෞද්ගලික හේතුවක් මත අයින් වුණා.

2021 නොවැම්බර් සහ දෙසැම්බර් අමාරු කාලවකවානුවක් වෙද්දි රුකී ප්‍රනාන්දු, නීතඥ ජයන්ත දෙහිඅත්තගේ, ඉඳුනිල් උස්ගොඩආරච්චි සහ ශාලික විමලසේන ඇතුළු පිරිසක් එකතු වෙලා දීර්ඝ ලෙස සකච්ඡා කළා මොනවද කරන්න ඔ්න කියලා. විවිද යෝජනා ආවා. රුකී ප්‍රනාන්දුගෙත් මැදිහත්වීම මත 2021 නොමැබ්ර්, දෙසැම්බර් සහ 2022 ජනවාරි වෙනකං තවදුරටත් මාස තුනක් විතර MediaLK ඇදගෙන ගියා.

අන්තිමේ හැමෝම හැලෙද්දි දිලිනි විතරක් ඉතුරු වුණා. දිලිනි MediaLK පවත්වාගෙන යන්න වරින් වර එයාගේ රත්තන් බඩු උකස් තියලා ලක්ෂ 12ක් විතර අරං දුන්නා. කොහොම හරි 2022 පෙබරවාරි වෙද්දි MediaLK මමත් දිලිනිත් පමණක් ඉතුරු වුණා. අපි දෙන්නා වෙබ් එක අපිට පුලුවන් විදිහට අප්ඩේට් කරගෙන ගියා. ශාලික අයියත් උදව් කළා.

2022 මාර්තු අන්තිම වෙද්දි රටේ ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක තරිඳු උඩුවරගෙදර එක්ක කතා කරලා අපි ටික කාලයක් එකට වැඩ කරමු කියලා තීන්දු කළා. අපි එකට වැඩ කළොත් ඒ වෙනකොට රටේ තිබ්බ තත්ත්වයට අපිට බලපෑමක් කරන්න පුලුවන් කියලා අපි හිතුවා. ඒ අනුව අපි එකට වැඩ කළා. 2022 මැයි මාසය විතර වෙද්දි තරිඳු උඩුවරගෙදර යෝජනා කළා MediaLK වෙබ් එකට අමතරව MediaLK යූටියුබ් එකත් අප්ඩේට් කරමු කියලා. තරිඳුගේ චැනල් එකට අපි දෙන්නා එකට වීඩියෝ කරලා (රේඛා එඩිට් කරලා දුන්නා) දාන වීඩියෝ MediaLK යූටියුබ් එකේ දැම්මා. ඒ අතරතුර ඉඳලා හිටලා මමත් ෆෝන් එකෙන් වීඩියෝ කරලා දාන්න පටං ගත්තා. 2022 ජූලි මාසය වෙද්දි MediaLK.com වෙබ් එකට වඩා MediaLK යූටියුබ් එක අප්ඩේට් වුණා. තරිඳු සහ රේඛා සෑහෙන්න උදව් කළා. 2022 අගෝස්තුවලින් පස්සේ නැවතත් තරිඳු සහ මම එකට වැඩ කරපු එක නවත්වලා වෙන වෙනම වැඩ කරන්න පටං ගත්තා. අතරින් පතර එකටත් වීඩියෝ කළා.

මේ අතරතුර කාලයේ සමහර කාලවල වෙබ් එකට මුල් තැන දෙනවා, සමහර කාලවල යූටියුබ් එකට මුල්තැන දෙනවා. එහෙම තමයි ගියේ.

2023දි අනුරුද්ධ බණ්ඩාර මට සීකේ (චානක) හඳුන්වලා දුන්නා. අනුරුද්ධ යෝජනා කළා සීකේ මගේ යූටියුබ් එකට වීඩියෝ කරන්න උදව් කරයි කියලා. ඒ වෙනකොට මම ෆෝන් එකෙන් වීඩියෝ කරලා දැම්මේ. දිලිනි තමයි වීඩියෝ කරනකං ෆෝන් එක අල්ලං ඉන්නේ. ඒවායේ කොලිටි එකේ ප්‍රශ්න නිසා සීකේ නොමිලයේ වීඩියෝ කරලා එඩිට් කරලා දෙයි කියලා කිව්වා. ඒ අනුව 2023 මැයි මාසයේ සීකේ මගේ මුල්ම වීඩියෝ එක රෙකෝඩ් කරලා දුන්නා. වීඩියෝ හතරකට හෝ පහකට තරුෂි දිෂාරා සම්බන්ධ වුණා. සීකේ සහ අනූ එයාලගේ වියදමින් කැමරාවක් රෙන්ට් එකට අරගෙන ටික දවසක් වීඩියෝ රෙකෝඩ් කරලා දුන්නා. ඊට පස්සේ එයාලගේම බඩු වලින් ඒ වැඩේ කළා. ජී.ජී.වයි එකේ චමින්ද අපිට ටික කාලයක් එයාගේ තැන ඉඳන් වීඩියෝ කරන්න අවස්ථාව දුන්නා.

2025 ජනවාරි වෙනකං සීකේලා වීඩියෝ කරලා දුන්නා. ඒ අතරතුර මම දිලිනිගේ උදව්වෙනුත් ෆෝන් එකෙන් වීඩියෝ කළා. සීකේලා සමහර වීඩියෝ කරන්න මාත් එක්ක කොළඹින් පිට පවා ගියා.

2025 පෙබරවාරි මාසයේදී news19 සහ channel 19 සංස්කාරක නිරෝෂ් මෛත්‍රී මට යෝජනා කළා ඔ්න වෙලාවක වීඩියෝ කරලා එඩිට් කරලා ගන්න පුලුවන් නිසා news19 කාර්යාලයේ වීඩියෝ වැඩ කරගන්න කියලා. තරිඳු උඩුවරගෙදරත් ඒ යෝජනාව කළා. වීඩියෝ ක්‍රමවත්ම අප්ලෝඩ් කරන්න අමාරු වෙන එකේ ගැටලුව එතනින් විසඳෙයි කියලා තරිඳු උඩුවරගෙදර යෝජනා කළා. මේ වෙද්දි ශාලික අයියා ආයෙත් MediaLK එකේ වීඩියෝවලට සහයෝගය දෙන්න පටං අරං තිබ්බේ. අපි ඉන්ටර්විව් දාන්න MediaLK Talks යූටියුබ් එකත් පටං අරං තිබ්බේ. දිලිනි සහ ශාලික අයියා එක්ක කතා කරලා අපි පෙබරවාරි මාසයේ ඉඳන් news19 කාර්යාලයේම අපේ වීඩියෝ වැඩ කරන්න පටං ගත්තා.

උඩුවාගේ සටන් රේඩියෝ ආයතනයත්, නිරෝෂ් මෛත්‍රීගේ චැනල් 19 ආයතනයත් අපේ MediaLK ආයතනයත් කියන්නේ එකිනෙකට වෙනස් ආයතන 03ක් විදිහට වෙන වෙනවම වැඩ කරගෙන යන ආයතන තුනක්. වෙනම වැඩ කරන ගමන් සමාජයට වැඩිපුර හොඳ දේවල් දෙන්න ආයතන 03ම එකට වැඩ කරන්න පුලුවන් අවස්ථා ගැන පහුගිය මාස දෙකේ අපි දීර්ඝව කතා කළා. සචිත්‍ර වික්‍රමනායක, ශාලික විමලසේන, තරිඳු උඩුවරගෙදර සහ නිරෝෂ් මෛත්‍රී වගේම දිලිනිත් අපි එකට සහ වෙන වෙනමත් ඉදිරියට එකට කළ හැකි වැඩත්, වෙන් වෙන්ව අපි කරන වැඩ ගැනත් කතා කළා. අපේ මාධ්‍ය ආයතන තුනේ අනන්‍යතාවන් තියාගෙන එකට වැඩ කිරීම අපි මේ දිනවල අත්හදා බලමින් ඉන්නවා. ඒකේ ප්‍රතිඵලයක් තමයි චැනල් 19 එකේ රන්ඩවුන් පොඩ්කාස්ට් එක.

මේ වෙනකොට MediaLK යූටියුබ එකේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 91,000කට මදක් වැඩියෙන් ඉන්නවා. MediaLK Talks එකේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 4000ක් පමණ ඉන්නවා. යූටියුබ් එකත් එක්ක අපට MediaLK.com වෙබ් එක ටිකක් මගෑරුණා. හැබැයි අපි හෙට ඉඳන් දිගටම medialk.com වෙබ් එක අප්ඩේට් කරනවා.

යූටියුබ් එක සහ වෙබ් එක හරහා අපිට පුලුවන් වෙලා තියනවා සමාජයට ලොකු බලපෑමක් කරන්න. සමාජයට ඇත්ත සන්නිවේදනය කරන්න අපිට පුලුවන් වෙලා තියනවා.

අපි තවමත් හැදීගෙන යන පිරිසක්. හැදීගෙන යන මාධ්‍ය ආයතනයක්. අපිට තව දුරට ගමනක් තියනවා. මේ අවුරුදු 06 වැඩියෙන්ම මාත් එක්ක MediaLK එක ඇදගෙන යන්න හිටියේ දිලිනි. සමහර අවස්ථාවල හැමෝම අතෑරලා යද්දි දිලිනි මේ වැඩේ ගොඩදාගන්න මහන්සි වුණා. උදව් කළා. ඊට පස්සේ ශාලික අයියා. විවිධ අවස්ථාවල විවිධ විදිහට දායක වුණා. මගදි යම් යම් හේතු නිසා මගහැරුණත් උදිත සහ නිලූකත් සෑහෙන වැඩක් කළා. 2021 නොවැම්ර්වලදි MediaLK අතහැරියට ඒ වෙනකං MediaLK ඇදගෙන යන්න නිලූක සෑහන වැඩ කොටසක් කළා.

MediaLK ප්‍රශ්න වලදි විවිධ ක්ෂේත්‍රවල අය විවිධ විදිහට අපට උදව් කරන්න උත්සාහ කළා. රුකී ප්‍රනාන්දු, විභූ බාලක්‍රිෂ්නන්, ජයන්ත දෙහිඅත්තගේ, ඉඳුනිල් උස්ගොඩආරච්චි, නිරෝෂ් මෛත්‍රී, චාමර සම්පත්, තරිඳු උඩුවරගෙදර, රේඛා නිලුක්ෂි, සුරේන් ඩී පෙරේරා, මනුෂිකා කුරේ, තරුෂි, අනුරුද්ධ, සීකේ, අනූ, නිරෝෂ් කුමාර් , ෆසීර්, දීපා අධිකාරි, නිපුන විජේසිංහ, එරංග චාමර, සංජය නුවන්, රවීන්ද්‍ර, රවිඳු, රංග කලංසූරිය, නාලක ගුණවර්ධන, ජගත් ලියන ආරච්චි වගේ නම් කියනවා නම් පිටු ගණන් ලියන්න පුලුව්න්. විවිධ අය විවිධ අවස්ථාවල විවිද විදිහට සහයෝගය දුන්නා. මට කලින් කියන්න බැරිවුණා මහනුවර ලුසිල් අබේකෝන් අක්කාගේ සහයෝගයෙන් MediaLK ඇනිමේෂන් එක හැදුවේ ත්‍යාගු කියලා තරුණයෙක්. MediaLK තම්බ්නේල් හදලා දෙන්නේ ලසන්ත කියලා තරුණයෙක්. අපේ ලෝගෝ එක හදලා දුන්නේ ග්‍රේස්. දැනට MediaLK වැඩවලට නිරෝෂ් මෛත්‍රීගේ news19 කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා සහයෝගය දක්වනවා. මේ හැම දෙනාටම ස්තුතියි.

අපි මාධ්‍ය ආයතනයක් විදිහට මෙච්චර කල් රැඳිලා ඉන්නේ අපිව බලන සහ අපිව කියවන පාඨකයන්, ප්‍රේක්ෂකයන් නිසා සහ අපිට තොරතුරු දෙන අය නිසා. ඒ අයටත් ගොඩක් ස්තුතියි. අපිට උදව් කරන සියලු දෙනාට ස්තුතියි.

දැනටත් වඩා හොඳින් ඉස්සරහට අපි වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. කොළඹ කාර්යාලවලට සීමා නොවී ලංකාව හැම තැනම ඇවිදලා අපි කතා ලිව්වා. ඉස්සරහටත් අපි ඒ විදිහටම වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. දිගටම අපිත් එක්ක ඉන්න. අපේ තේමා පාඨය තමයි 'වගකීම අත්නොහළ කැපවීම' කියන එක. ඉස්සරහටත් වගකීම අත් නොහැර කැපවීමෙන් අපි වැඩ කරනවා. සීමිත සම්පත් එක්ක වැඩ කරද්දි මේ අවුරුදු 06ට අපෙන් යම් අඩුපාඩුවක් (තාක්ෂණිකව) වුණා නම් අපි සමාව ඉල්ලනවා.

ස්තුතියි.

අපේ වෙබ් එක - www.medialk.com

MediaLK යූටියුබ් එක - https://www.youtube.com/@medialksrilanka

MediaLK Talks යූටියුබ් එක - https://www.youtube.com/@Medialktalks

MediaLK ෆේස්බුක් පිටුව - https://www.facebook.com/medialkdotcom

MediaLK වට්ස්ඇප් සාමූහිකය - https://chat.whatsapp.com/JXFGiONOU6i3rL6VtmRafE

MediaLK බයි මී අ කොෆී පිටුව - https://buymeacoffee.com/medialk

තරිඳු ජයවර්ධන

2025 අප්‍රේල් 02

https://www.facebook.com/share/p/1A9LXdn2nY/

image

Gefällt dir dieser Beitrag?

Kaufe MediaLK.com einen Buch

4 Kommentare

Mehr von MediaLK.com